අද අපි කතා කරන්නේ අනාදිමත් කාලයක සිට පැවත ගෙන එන සොඳුරු පාරිසරික කටයුත්තක් පිලිබදවයි.බොහෝ කාලයක් පුරාවට දිව යන අපේ අතීත කතාවල ගැබ් වුනු එක මාතෘකාවක් තමයි මී දඩයම නැතහොත් මී මැසි  පාලනය.මී  පැණි යන වචනය ඇසුනු  සැනින් ඇතිවන්නේ ඉතා රසවත් හා ප්‍රනීත හැගීමක්. සැබවින්ම මි පැණි යනු රස නහර පිනා යන කදිම කටගැස්මක්.ශ්‍රී ලාංකීය පැරණි ජන සමාජයේ වර්තමානය දක්වාම සමාජ ගත වී ඇති බඹර කැපීම හා මී  දඩයම සමාජ කතිකාවතක් බවට  පරිවර්තනය කල කාව්‍යමය ජන සාහිත්‍යත් සමගිනි.

 

වල අද්දර සේනාවක් සිටපල්ලා

වලේ යන දෙන්නා පෙවී පලයල්ලා

වස් නැති ගලේ  බඹරේට දුම්  දාපල්ලා

 

පැණි වාරයේදී බඹර කපන්නාගේ සුදානම පිලිබදව  මෙම කවියෙන් පැහැදිලි කරනු ලබයි.ඉතා පෝෂණීය ගුණයෙන් හා රස මාදුර්යයෙන් යුතු  බඹර පැණි මී පැණි  හා සම සමව පැරණි සමාජයේ භාවිතා වී ඇත.

 

"බැද්ද වටට සුදු මොර මල් පිපිලා

සද්ද නැතුව බඹරුන් එහි ඇදීලා

මලුත් පැණිත්  මුළු ගමටම බෙදාලා"

 

යන නුතන ගීතයෙන් කියැවෙන්නේද  මී  මැසි පාලනය පිලිබදවයි.බඹර කැපීම යනු උස් ශාකයන්ගේ අතු අතර හා ශෛලමය ශිකරයන්ගේ එල්ලී  ස්ථාන ගත වී සිටින බඹරුන් කරා ගොස් දුම් ගසා උන් පලවා හැර පැණි අස්වනු නෙලා ගැනීමයි.බඹරුන් මෙල්ල කර ගැනීම සදහා භාවිතා කරනු ලබන පන්දම "හුල " ලෙස හැදින්වේ. එය දිගු දණ්ඩක ආධාරයෙන් කෙලවරට අමු කොළ අතු දමා බැදගෙන සකස් කර ඇත.අධික දුම භාවිතා කිරීම නිසා බඹරුන් සිය කැදැල්ලෙන් (බඹර වදයෙන්) තාවකාලිකව ඉවත් වූ වහාම එල්ලී සිටින අත්තිවාරම් කොටසින් බඹර වදය කපා වෙන් කර බිමට වැටෙන්නට සැලැස්වීම බඹර කැපීම ලෙස හැදින්වේ.

මෙහිදී බඹරුන් බොහෝ සේ දුක් මහන්සි වී ගොඩනගාගත් සිය නිවහන අහිමි වන අතර බරපතල වන්නේ බඹර වදයේ ස්ථානගත වී සිටින රැජින බිත්තර සහ කුඩා අවදියේ පසුවන කීටයන් මෙන්ම කෝෂ ගත අවස්ථාවේ සිටින පිලවුන් රාශි වශයෙන් විනාශ වීමයි.සැබවින්ම එක බඹර වදයක සිටින දහස් ගණනාවක් වූ නොමේරු බඹරුන්ට සිය ජීවිතය සදහටම අහිමි වේ.පැණි තරම්ම රසවත් නොමැති බඹර කැපීම මෙන්ම මී දඩයමද අතිශය අනර්ථකාරී සහ පරිසර විරෝධී ක්‍රියාවන්ය.මී දඩයම යනු මී මැස්සාගේ තාවකාලික වාසස්ථානය වූ ගස් බෙන ගල් පතුරු හා හුබස් කරා ගොස් විෂ සහිත ධූම කෑළෑ කොළ වර්ග බීඩි සිගරට් සුරුට්ටු භාවිතයෙන් සතුන් මෙල්ල කර මී පැණි කොල්ල කෑමය.මෙසේ එක් රැස් කරගන්නා මී පැණි අතීතයේ සිටම භාවිතා කරන්නේ දේශීය ඖෂද සදහා අත්‍යාවශ්‍ය සංඝටකයක් ලෙසිනි.අරාබි වෙදකමටත් නැතිවම බැරි  සංඝටකයක් ලෙස මී  පැණි භාවිතා වේ.

 

විනාඩි 3ක් වැනි කෙටි කාලයක් තුල මිනිස් සිරුරේ කේශනාලිකා දක්වා ගමන් කිරීමේ සහ වහා උරාගැනීමේ අවශෝෂණ හැකියාවෙන් පොහොසත් මී  පැණි  ලොව වඩාත්ම රසවත් මෙන්ම ඖශධිය ගුණයෙන් ඉහල ආහාරයක් ලෙස සැලකේ.ශාක සහ ශාක පුෂ්පයන්ගේ අන්තර්ගත වී ඇති ස්වභාවික ඖෂද ගුණයෙන් අන්තර්ගත ව ඇති නිසා මී පැණි සහ ඖෂධීය ශාක අතර ඇත්තේ අන්‍යෝන්‍ය වූ ගැඹුරු සහෝදරත්වයකි.මලින් මලට පියබා යමින් ආනන්දනීය වන්දනාවක යෙදෙන පැණි බිගුන් පානය කරන මල්  පැණි බිගුන්ගේ උදරයේ අභ්‍යන්තරයේ දී එකතුවන රසායනිකයක් නිසා මී පැණි සංයෝගයක් බවට පරිවර්තනය වේ.මී මැස්සන්ගේ පැණි මී පැණි ලෙසත් බඹරුන්ගේ පැණි බඹර පැණි වන්නේත් එම සංසිද්ධිතාවය මතය.